‘දේශපාලනඥයා රහසින් පව් කළත් එළිවෙනවා‘

බුදුන් වහන්සේ රහසින්වත් පව් නොකළ ආකාරයට දේශපාලනඥයන් ද රහසින්වත් පව් නොකළ යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) ජනපති ලේකම් කාර්යාලයයේ පැවැති ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ දී පැවසීය.
දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධරයන් රහසින් කළත්, එළිපිට කළත් පොදු ජනතාවට එය සැඟවීමට නොහැකි යැයි ද ජනපති කීවේය.
දූෂණ, වංචා හොරකම් හා අක්‍රමිකතා ආදිය නොකිරීමට දේශපාලනඥයන්ගේ හෘද සාක්කිය බලවත් හා ශක්ති සම්පන්න විය යුතු යැයි ජනපති සඳහන් කළේය.

සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේ දී තමාගේත් අගමැතිගේත් නිර්දේශ මත පොදු කමිටුවක් පත් කරන හෙයින් එවැනි පත්වීම් ගැන ඉල්ලීම් සියල්ල  එම කමිටුවට යොමු කරන ලෙස නව ඇමැතිවරුන්ගෙන් ජනපති ඉල්ලා සිටියේය.
පත්වීම් ලබන්නන්ගේ සුදුසුකම්, ගුණාත්මක භාවය හා ප්‍රමිතිය පිළිබඳ සලකා බැලීමෙන් පසු පත්වීම් සිදු කරන බව ද ජනපති කීවේය.
‘ජනවාරි අට වැනි දා මා ශ්‍රී ලංකාවේ ජනපති කරමින් ද, අගෝස්තු මහා මැතිවරණයෙන් නව රජයක් පිහිටුවීමට බලය දෙමින් ද ඡන්ද දායකයන් අපට බලය දුන්නා. දින 100 දේශපාලන අත්දැකීම් අනුව දැන් අපට ජාතික ආණ්ඩුවක් යටතේ ඉදිරියට යා හැකියි. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ වැදගත්කම රනිල් වික්‍රමසිංහ අගමැතිත් මැතිවරණ සමයේ කිව්වා. මාත් කිව්වා. අද අපි නව ඇමැති මණ්ඩලය පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැති පදවි 15යි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති පදවි 18යි. එක්සත් ජාතික පක්ෂ සන්ධානයට ඇමැති පදවි 33යි. එයින් එක්සත් ජාතික පකෂයට පමණක් ලැබී ඇත්තේ ඇමැති පදවි 26යි. එය සංකීර්ණ අවස්ථාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 22ක් සිටිනවා. සෑහෙන පිරිසකට ඇමැතිකම් ලැබෙනවා. ලැබුණු අය සතුටට පත්වීමත්, නොලැබුණු අය අසතුටු වීමත් ස්වභාවිකයි. නමුත් රටට සේවය කිරීම සඳහා ඇමැති කම් නොලැබුණු අයට වෙනත් මාර්ග තිබෙනවා.
අප ඇති කරන්නට යන නව කමිටුවලින් ඊට ඉඩ ලැබෙනවා. අපේ අරමුණු පවිත්‍ර නම් අප මහජන සේවයට කැපවී සිටී නම් රටට හා රටේ ජනතාවට වැඩ කිරීම අපේ අරමුණ නම් ඇමැති මණ්ඩලය පත් කිරීමේ සංකීර්ණ ගැටළු වලින් අප අධෛර්යයට පත් විය යුතු නැහැ.
වසර දෙකක් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සම්මුතියකට ඇවිත් තිබෙනවා. ඒ දෙවසරේ අත්දැකීම් අනුව අපට ඉදිරි මග සලසා ගත හැකියි. ජාතික ආණ්ඩු ක්‍රමය අපට අලුත් අත්දැකීමක්. මහ දෙපක්ෂයේ මේ ගමනින් අපේ අරමුණ විය යුත්තේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ප්‍රවර්ධනය කර දූෂණ වංචා නැති රටක් බිහි කිරීමයි. එය අපට කළ හැකියි.
‘දේශපාලනඥයා රහසින් පව් කළත් එළිවෙනවා‘ ‘දේශපාලනඥයා රහසින් පව් කළත් එළිවෙනවා‘ Reviewed by Unknown on 10:54 PM Rating: 5
Powered by Blogger.