නව රජයේ ඇමති ගණන හා විෂයයන් ගැන එකඟතාවක් නෑ

නව රජයේ අමාත්‍ය මණ්ඩලය හා විෂයයන් ප්‍රමාණය පිළිබඳව එකඟතාවකට තවමත් පැමිණීමට නොහැකි වීම නිසා  ඇමති මණ්ඩලය දිවුරුම්දීම කල් ගොස් තිබේ.
ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේදී ශ්‍රීලනිපය කැබිනට් අමාත්‍ය ධුර 22ක් පමණ ඉල්ලා සිටීම නිසා මෙම අර්බුදය මතුවී ඇති අතර, මේ නිසා ඇමති මණ්ඩලය 50 ද ඉක්මවීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි  වාර්තා වෙයි.

 නව ජාතික සමගි රජයේ කැබිනට් අමාත්‍යවරුන්    22 වැනි දා දිවුරුම්දීමට නියමිතව තිබුණි . එහෙත් ප්‍රධාන පක්ෂ දෙකටම තම ඉල්ලීම් පිළිබඳව එකඟතාවයකට පත්වීමට ඊයේ (23දා) දිනය වන විටත් නොහැකි වී තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම ඇමතිකම් ඉල්ලා සිටීමේ කාර්ය සම්බන්ධීකරණය කරන බවද සඳහන් වෙයි.
මේ  පිළිබඳව අවසන් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගතයුතු වන අතර, ඔවුන් දෙදෙනාම අතර කොළඹින් බැහැරව සිටින අතර, ඊයේ (23දා) දිනයේ කොළඹට පැමිණ අදාළ කරුණු සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
අදාළ දිවුරුම් දීමේ පළමු අදියර බොහෝ විට හෙට (25දා) දිනයේදී සිදුවන බවටද වාර්තා පළ වේ.
නව රජයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු ලෙස දිවුරුම් දීමට නියමිතය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 ක් හා නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු 40ක් ලෙස දක්වා ඇත.කෙසේ නමුදු ජාතික ආණ්ඩුවක් සඳහා මෙකී සංඛ්‍යාව පාර්ලිමේන්තු අනුමැතිය අනුව ඉහළ දැමිය හැක.
ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩලයට නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දිවුරුම් දීම සැප්තැම්බර් 1 වැනිදා  පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු සිදුවේ.එසේම රජයට සහය වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක මතයක පිහිටා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.
එසේ නොමැතිව ඉන් කොටසක් පමණක් එක්ව සහයදීම අනුමත නොකරන බව පක්ෂයේ ප්‍රබලයෙක් පුවත්පතට පවසා ඇත .

නව රජයේ ඇමති ගණන හා විෂයයන් ගැන එකඟතාවක් නෑ නව රජයේ ඇමති ගණන හා විෂයයන් ගැන එකඟතාවක් නෑ Reviewed by Unknown on 10:00 AM Rating: 5
Powered by Blogger.