හයිබ්‍රිඩ් අධිකරණය පත් කරන්නේ ශ්‍රී ලංකා රජයෙන් - ඇමැති මංගල කියයි

යුද්ධය පැවැති කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම්වරයාගේ වාර්තාව මගින් යෝජනා කොට ඇති ජාත්‍යන්තර විනිසුරු වරුන්ගෙන් ද සමන්විත මිශ්‍ර අධිකරණය (හයිබ්‍රිඩ්) පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා 'දිවයින'ට පැවැසීය.

ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ඇති විනිසුරුවරුන් පත්කරන බව ද ඇමැතිවරයා කීය.
එම අධිකරණය පත්කිරීමේදී එක්‌සත් ජාතීන්ගේ කිසිදු මැදිහත්වීමක්‌ සිදු නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය. මංගල සමරවීර මහතා මෙසේ ද පැවැසීය. "යම් යම් බරපතල සිද්ධීන් සිදුවුණාම ඒවා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට විශේෂ අධිකරණ පැවැත්වීම අරුමයක්‌ නොවෙයි. මීට පෙර ශ්‍රී ලංකාවේ 1971 කැරැල්ල පිළිබඳ නඩු විභාග කිරීමට බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පත් කළේ ඒ අනුවයි. ක්‍රිෂාන්ති කුමාරස්‌වාමි ඝාතනය විභාග කිරීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විශේෂ විනිසුරු මණ්‌ඩලයක්‌ 1996 වසරේදී පත්කරනු ලැබුවා.

හමුදා නිලධාරීන්ට විරුද්ධව බරපතල චෝදනා එල්ල වුණාම ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි. හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා වන්නේ එවිටයි. අපේ හමුදා විනයගරුක භාවය අතින් ආසියාවේ හොඳම හමුදාව ලෙස හැඳින්වෙනවා. ලෝකයේ ඕනෑම රටක හමුදාවල මිනී මරන, ස්‌ත්‍රී දූෂණ කරන වෙනත් අපරාධවලට සම්න්ධ සුළු පිරිසක්‌ ඉන්නවා. ඔවුන් නිසා හමුදාවේ කීර්තිනාමය නැති වන්නට ඉඩ දෙන්නට බැහැ. ඒ නිසා එවැනි අයට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් තමයි හමුදාවේ ගෞරවය හා කීර්ති නාමය ආරක්‍ෂා වන්නේ.

මෙම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව මහින්ද රාජපක්‍ෂ යුගයේදී නිකුත් වූවා නම් ඉතා භයානක ප්‍රතිඵල ඇති වෙන්නට ඉඩ තිබ්බ බවද කී ඒ මහතා පසුගිය ජනවාරි 8 දා මේ රටේ ඇති වූ දේශපාලන වෙනස නිසාත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පිළිබඳව ලෝකය තබා තිබෙන විශ්වාසය නිසාත් අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ යහපත් ආකල්පයක්‌ ඇති වී තිබෙන බව ද පැවැසීය.

- දිවයින
හයිබ්‍රිඩ් අධිකරණය පත් කරන්නේ ශ්‍රී ලංකා රජයෙන් - ඇමැති මංගල කියයි හයිබ්‍රිඩ් අධිකරණය පත් කරන්නේ ශ්‍රී ලංකා රජයෙන් - ඇමැති මංගල කියයි Reviewed by Unknown on 2:24 PM Rating: 5
Powered by Blogger.