ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහාය - ඉන්දීය අගමැති

නව රජය යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සුබපැතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නවදිල්ලියේ හයිද්‍රdබාද් මන්දිරයේදී ඊයේ (15 වැනිදා) පැවැති සාකච්ඡාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ බව කියා සිටියේය.

වෙළෙඳ, ආර්ථික, ආයෝජන හා තාක්‍ෂණ ක්‍ෂේත්‍ර පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමකට අත්සන් තැබීමට ඉන්දීය අග්‍රාමාත්‍ය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර එකඟතාවක්‌ ඇතිකරගෙන තිබේ.

දෙරට අතර අත්සන් කෙරෙන මෙම ගිවිසුමේ මූලික කෙටුම්පත ලබන දෙසැම්බර් වන විට සකසා 2016 මැද භාගයේදී එම ගිවිසුමට අත්සන් කර කාලපරාස ද නියම කර ගැනීම එහිදී සිදුවී ඇත.

ඒ අනුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් දෙපළ අතර පැවති සාර්ථක සාකච්ඡාවේදී මෙම එකඟතාවයන්a ඇතිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා වසර 2500 කටත් එහා යුගයකට දිව යන බවත්, තපස්‌සු භල්ලුක වෙළෙඳුන් පිළිබඳ පුරාවෘත්තය ඊට සාධක සපයන බවත් පෙන්වා දුන් ඉන්දියා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු, ඒ ඓතිහාසික ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික සහ ආගමික සම්බන්ධතාවන් පදනම් කරගනිමින් කලාපයේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමත්, වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ උදාකරලීමටත් ඇප කැප වී කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.

වෙළෙඳ, ආර්ථික, ආයෝජන හා තාක්‍ෂණ ක්‍ෂේත්‍ර පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක්‌ සකස්‌ කිරීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ.

1956 වසරේ සිටම බලය ලබාගැනීම සඳහා තරග වැදුණු පක්‍ෂ දෙකක්‌ එකට එක්‌කොට ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට හැකිවීම විශේෂත්වයක්‌ බව ද ඒ ආණ්‌ඩුව වසර දෙකක කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යැමට එකඟත්වයකට එළැඹ ඇති බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයටද, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්‌ති පෙරමුණට ද හිමිවීම සහ මුළු පාර්ලිමේන්තුවම ආණ්‌ඩු පාලනය සඳහා එක්‌කර ගැනීම සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ඉන්දීය ජනතාව සහ රජය පූර්ණ විශ්වාසය තබා ඇති බවය. ශ්‍රී ලංකාවේ අනාගත දියුණුව වෙනුවෙන් ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බව ද මෝදි මහතා පැවසීය.

යටිතල පහසුකම්, බලශක්‌ති, සංචාරක, අධ්‍යාපන, සංස්‌කෘතික, ආගමික, ගුවන් සේවා, ප්‍රවාහන ආදී ක්‍ෂේත්‍රයන්හි ප්‍රගමනය සඳහා ඉන්දියාවේ සහය ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය දක්‌වන සහාය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිතුමාගේ සහ තමන්ගේ කෘතඥතාවය පළ කළ වික්‍රමසිංහ මහතා රැකියා දස ලක්‍ෂයේ වැඩසටහන සඳහා ඉන්දියාව ලබාදීමට බලාපොරොත්තු වන සහයෝගය පිළිබඳව ද අගය කළේය.

ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව සාර්ක්‌ කලාපීය චන්ද්‍රිකාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉන්දීය අභ්‍යවකාශ කොමිසමේ මහ කොමසාරිස්‌වරයා ඊට අත්සන් තැබූහ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කරමින් කුඩා සංවර්ධන ව්‍යාපෘති, වෛද්‍ය උපකරණ හා ගිලන් රථ සේවාවන් ලබාදීම සම්බන්ධ ගිවිසුම් තුනකට ද මෙහිදී අත්සන් තැබිණි.

පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන හරහා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය සහ ආධාර සැපයීමට එක්‌ ගිවිසුමක්‌ මගින් ඉන්දියාව කටයුතු කරනු ඇත. අනෙක්‌ ගිවිසුම මගින් වවුනියාව දිස්‌ත්‍රික්‌ රෝහලේ ඇඳන් 200 කින් සමන්විත වාට්‌ටුව සඳහා සියලුම වෛද්‍ය උපකරණ සැපයීමට ඉන්දියාව ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලංකාව තුළ හදිසි ගිලන් රථ සේවාවක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඉන්දීය ආධාර සැපයීමේ ගිවිසුම අද අත්සන් තැබුණු තෙවැන්නයි.

මේ ගිවිසුම සඳහා ඉන්දියාව වෙනුවෙන් විදේශ ලේකම් ආචාර්ය එස්‌. ජයශන්කර් මහතා ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද අත්සන් තැබූහ.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික්‌ සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන්, වැඩබලන මහකොමසාරිස්‌ එම්. ආර්. කේ. ලෙනගල, විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ඩැනියල් අල්ෙµdන්සස්‌ යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද, ඉන්දීය විදේශ ඇමැතිනී සුස්‌මා ස්‌වරාඡ්, ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්, ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්‌. ජයශන්කර්, බලශක්‌ති අමාත්‍යාංශ ලේකම් පී. කේ. පූජාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ යසවර්ධන සිං, ශ්‍රී ලංකා මාලදිවයින් සහ ඉන්දීය සාගර කලාප සම ලේකම් සුචිත්‍රා දුරායි, ප්‍රචාරක සම ලේකම් වයිකාස්‌ ස්‌වරූඡ් යන මහත්ම මහත්මීහු ඉන්දියාව නියෝජනය කරමින් ද මේ සාකච්ඡාවට සහභාගි වූහ.
ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහාය - ඉන්දීය අගමැති ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහාය - ඉන්දීය අගමැති Reviewed by Unknown on 3:09 PM Rating: 5
Powered by Blogger.