සෞදි ගින්නෙන් ශ‍්‍රී ලාංකිකයින්ට මෙතෙක් හානියක් නෑ

සෞදි අරාබියේ විදේශ ශ‍්‍රමිකයන් රැදී සිටින නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට හානි වූ බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ගින්න ඇති වූ ස්ථානයේ ශ‍්‍රී ලාංකිකයන් සිටී දැයි සොයා බැලීමට සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සහ සුබ සාධන අංශයේ නිලධාරීන් තුන්දෙනෙකු ඊයේ දිනයේ එම ස්ථානයට පිටත්ව ගොස් තිබුණා. ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්සියුලර් ජනරාල් වී.ඩබ්ලිව්.එම්.පී.කේ.ටී හෙට්ටිආරච්චි ප‍්‍රමුඛ කණ්ඩායමක්. ඊයේ රාත‍්‍රියේ ඔවුන් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කර නැවත තානාපති කාර්යාලය වෙත පැමිණ තිබුණා. කෙසේ වෙතත්, සිද්ධිය සිදුවූ ස්ථානයේ යම් තොරතුරක් වෙතොත් වාර්තා කිරීමට තවත් නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ රදවා තිබෙනවා.


ගින්නෙන් අනතුරට පත් ලාංකිකයන් සිටී නම්, ඒ පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම තමන්ව දැනුවත් කරන ලෙස ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ගින්නෙන් අනතුරට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් සිය අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය දැනුවත් කරන ලෙසයි. ඒ අනුව 0112 33 59 42 දරණ දුරකථන අංකයෙන් තොරතුරු ලබා දිය හැකි බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

පසුගිය ඉරිදා අලූයම් කාලයේ සෞදි අරාබියේ නැගෙනහිර ප‍්‍රදේශයේ අල්කොබාර් හි පිහිටි ඇරැම්කෝ තෙල් සමාගමේ සේවක නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 259 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 80කට වැඩි පිරිසක් තවදුරටත් ප‍්‍රතිකාර ලබන අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බව සදහන්. ලොව විශාලතම තෙල් සමාගම වන සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමේ 61,000 ඉක්ම වූ සේවකයන් අතුරෙන් බහුතරයක් විදේශ ශ‍්‍රමිකයන්.
සෞදි ගින්නෙන් ශ‍්‍රී ලාංකිකයින්ට මෙතෙක් හානියක් නෑ සෞදි ගින්නෙන් ශ‍්‍රී ලාංකිකයින්ට මෙතෙක් හානියක් නෑ Reviewed by Unknown on 8:40 AM Rating: 5
Powered by Blogger.