යුද අපරාධ විභාගයට 'හයිබ්‍රිඩ්' උසාවියක්‌ පිහිටුවන්න

ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යන දෙපාර්ශ්වය විසින්ම 2002 සහ 2011 අතර කාලයේ සිදුකළ යුද අපරාධ හා ජනතාවට එරෙහිව කළ අපරාධ විභාග කිරීමට විශේෂ මිශ්‍ර (යහඉරසා) උසාවියක්‌ ලංකාවේ පිහිටුවන ලෙසට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්‌ සෙයිඩ් රාද් අල් හුසේන් විසින් ඊයේ (16දා) ප්‍රකාශයට පත්කළ පිටු 255 කින් යුත් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
2002 සහ 2011 අතර කාලයේ දී ශ්‍රී ලංකාවේ ගැටුමේදී දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ලෙස ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතළ උල්ලංඝනයවීම් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇතැයිද එකී වාර්තාවේ දැක්‌වේ.

එම නිසා යුක්‌තිය ඉටුකිරීමේ අත්‍යවශ්‍ය පියවරක්‌ වශයෙන් ජාත්‍යන්තර විනිශ්චයකරුවන්, නීතිපතිවරුන්, නීතිඥයන් සහ විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ මිශ්‍ර අධිකරණයක්‌ ශ්‍රී ලංකාවේ පිහිටුවා එමගින් යුද අපරාධ චෝදනා සහ ජනතාවට කළ අපරාධ පිළිබඳ විභාග කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලාංකීය ජන සමාජයේ පුළුල් කොටස්‌ තුළ රාජ්‍ය අධිකාරීන් සහ රාජ්‍ය ආයතන කෙරෙහි ඇති අවිශ්වාසයේ ප්‍රමාණය අඩුවෙන් තක්‌සේරු කළ නොහැකි බවද මහ කොමසාරිස්‌වරයා මෙහිදී සඳහන් කර තිබේ. විශේෂ මිශ්‍ර අධිකරණයක්‌ පිහිටුවීම අත්‍යවශ්‍ය වන්නේද ඉහත කරුණ නිසා බවත් සම්පූර්ණයෙන්ම දේශීය අධිකරණ ක්‍රියාවලියකින් දශක ගණනාවක්‌ තිස්‌සේ සිදුවූ උල්ලංඝනය කිරීම්, අවභාවිත සහ කඩවූ පොරොන්දුවලින් ඇතිවූ පුළුල් හා හේතු යුක්‌ති කළ හැකි සැකයන් ඉවත් කළ නොහැකි බවත් හෙතෙම සිය වාර්තාවේ දක්‌වා ඇත.

ඉවක්‌ බවක්‌ නොමැතිව කළ ෂෙල්වෙඩි ප්‍රහාර, නීතියට පිටින් කළ මිනීමැරුම්, බලහත්කාරයෙන් කළ අතුරුදන් කිරීම්, වධහිංසා පැමිණවීම්, ලිංගික ප්‍රචණ්‌ඩත්වය පිළිබඳ කම්පා සහගත විස්‌තරද සමඟ මෙරට සිදුව ඇති බිහිසුණු උල්ලංඝනය කිරීම් සහ අපහරණයන් සිය වාර්තාවෙන් හෙළිකරන බවද මහකොමසාරිස්‌වරයා ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයට ලක්‌වෙන වඩාත් බරපතළ ආකාරයේ උල්ලංඝනය වීම් මෙම වාර්තාවෙන් හෙළිකරන බවද වාර්තාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත තත්ත්වයක්‌ පවත්වාගත හැකි දේශපාලන සංදර්ශයක්‌ තුළ බවද මානව හිමිකම් කොමසාරිස්‌වරයා සඳහන් කර සිටී.

අදාළ වාර්තාවේ සඳහන් කර ඇති බරපතල අපරාධ මෙසේය.

2002 සහ 2011 අතර කාලයේදී රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මෙන්ම ආරක්‍ෂක හමුදාවල සන්නද්ධ කණ්‌ඩායම් විසින් සිදුකරන ලදැයි සැලකෙන නීතිවිරෝධී මිනීමැරුම් ගණනාවකි. ශ්‍රී ලංකාවේ හමුදාවන් සහ ඔවුන්ට සම්බන්ධ සන්නද්ධ කණ්‌ඩායම් වලින් වින්දිත තත්ත්වයට පත්වූවන් ලෙස සැලකෙන අය අතර දෙමළ දේශපාලකයන්, මානුෂීය සේවකයන්, ජනමාධ්‍යවේදීන් හා සාමාන්‍ය පුරවැසියන්ද සිටින බව එහි සඳහන්ය.

රැඳවුම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විසින් සිදුකළ අතිශයින් කුරිරු ලිංගික ප්‍රචණ්‌ඩත්වයද, එම වින්දිතයන් අතර ස්‌ත්‍රීන් මෙන්ම පුරුෂයන් සිටින බවද වාර්තාවේ සඳහන් කර තිබේ.

එල්.ටී.ටී.ඊ ය සමඟ වසර විසිහයක්‌ පැවැති ගැටුම් කාලයේදී මෙන්ම දශක ගණනාවක්‌ තුළ ශ්‍රී ලංකාවේ දසදහස්‌ ගණනක්‌ බලහත්කාරයෙන් අතුරුදන් කර ඇතැයිද ගැටුමට සෘජු සම්බන්ධයක්‌ නැති බොහෝ දෙනෙක්‌ සුදු වෑන්වලින් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කර ඇතැයිද එහි සඳහන්වේ.

ගැටුම අවසාන කාලයේදී එල්.ටී.ටී.ඊ ය විසින් බලහත්කාරයෙන් දරුවන් හමුදාවට බඳවා ගැනීම, ඔවුන් සටන්වලට යොදවා ගැනීම, වැඩිහිටියන් පැහැරගෙන ගොස්‌ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම උග්‍රව සිදුකර ඇතැයිද වාර්තාවේ දැක්‌වේ. ගැටුම අවසාන මාස කීපයේදී එල්.ටී.ටී.ඊ ය වයස අවුරුදු 15 ට අඩු ළමයින් වැඩි වැඩියෙන් බඳවාගෙන ඇතැයිද දැක්‌වේ.

දේශීය ක්‍රියාවලියක්‌ තුළින් වගවීමක්‌ ලබාදීමට ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුවේ ඇති කැපවීම ප්‍රශංසා කළ යුතු නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතිය ඒ සඳහා තවමත් සූදානම් නැතැයිද වාර්තාවේ සඳහන් වේ.

වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් රැකගැනීමේ විශ්වාස කටයුතු ක්‍රමයක්‌ නැතැයිද මෙවැනි පරිමාණයෙන් යුත් අන්තර්ජාතික අපරාධ සම්බන්ධව ක්‍රියාකිරීමට ශ්‍රී ලංකාවේ දේශීය නීති රාමුව ප්‍රමාණවත් නැතැයිද වාර්තාවේ සඳහන්ය.

එක්‌සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස්‌වරයාගේ කාර්යාලයේ විමර්ශන කණ්‌ඩායමට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදුන් බවද, පෙර පැවැති රජය තර්ජන කිරීම්, බිය වැද්දීම සහ උතුරේ ජනතාව විමර්ශනයට සහාය වීම වැළැක්‌වීමට සෝදිසියෙන් සිටීම ඇතුළු බාධා සිදුකළ බවද වාර්තාවෙන් පෙන්වා දේ.

යුද අපරාධ විභාගයට 'හයිබ්‍රිඩ්' උසාවියක්‌ පිහිටුවන්න යුද අපරාධ විභාගයට  'හයිබ්‍රිඩ්' උසාවියක්‌ පිහිටුවන්න Reviewed by Unknown on 9:52 AM Rating: 5
Powered by Blogger.