වී මිලදී ගන්න සල්ලි තියෙනවා - අනිසි බියක් ඇති කරගත යුතු නෑ

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කළ මුදල රුපියල් මිලියන 6000ක් නිසා ගොවීන් ඒ ගැන  අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි  වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා පවසයි.

යල කන්නයේ වී අස්වන්න මෙවර වැඩි වුවද මිලදී ගැනීම් කිසිවක් නවතා නැති බවත්,  රජය වෙන්කළ මුදලින් 50% වඩා මුදල් වී මිලදී ගැනීම වෙනුවෙන් ඉතිරිව තිබෙන බවත්, ඒ මහතා කියයි.

එසේම  වී මිලදී ගැනීම් වෙනුවෙන් දිවයින පුරා ගබඩා 170ක් සූදානම්කර ඇති බවද මේ වනවිට වී ලැබී ඇත්තේ ගබඩා 103ක් වෙත බවද  හෙතෙම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වී මිලදි ගැනීමේ කටයුතු කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක හා සංවර්ධන නිලධාරීන් යොදාගන්නා බවත්, තෙත වී හා  පරණ වී ගෙනඒමෙන් වළකින ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඔහු එහිදී කීවේය.

මේ අතර  මත්තල ගුවන්තොටුපල වී ගබඩාකිරීමට යොදාගන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට සභාපතිවරයා කියා සිටියේ මත්තල ගුවන් තොටුපළේ දැනට භාවිතයට නොගන්නා කොටසක් තාවකාලිකව එම කටයුතු සඳහා යොදාගන්නා බවයි.

එය ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කර ගත් ක්‍රියාමාර්ගයක් බවත්, ගුවන් තොටුප‍ළ කටයුතුවලට ඉන් බලපෑමක් නැති බවත්, එසේ වුවද එම කොටස අඛණ්ඩව එම කටයුතු සඳහා යොදාගැනීමට උවමනාවක් නැති බවත්, ඔහු කීවේය.
වී මිලදී ගන්න සල්ලි තියෙනවා - අනිසි බියක් ඇති කරගත යුතු නෑ වී මිලදී ගන්න සල්ලි තියෙනවා - අනිසි බියක් ඇති කරගත යුතු නෑ Reviewed by Unknown on 4:53 PM Rating: 5
Powered by Blogger.