අගලවත්තේ නිවුන් සහෝදරියන්ගේ මරණ වලට හේතුව මී එලදෙනෙක්

අගලවත්ත දාපිලිගොඩ ගල්ලැක් ඇළ නමැති ගංගාවේ දිය නෑමට ගිය 23 හැවිරිදි නිවුන් සොයුරියන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇත. ඔවුන්ගේ මළ සිරුරු පෙරේදා (1දා) රාත්‍රි 9.00ට පමණ සොයාගෙන තිබේ.
දාපිලිගොඩ පදිංචි ගල්පාතගේ චලුනි නිත්‍යා තිළිණි හා පියුමි නිත්‍යා දිලිනි යන විශ්වවිද්‍යාල සිසුවියන් මෙසේ මියගොස් ඇත.
පෙරේදා (1දා) සවස 5ට පමණ නිවෙස අසල ගල්ලැක් ඇළට දිය නෑමට ගිය මේ තරුණියන් දෙදෙනා රාත්‍රි 8 පමණ වන තුරුත් නිවෙසට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ මව පොලිසියට දැනුම් දීමෙන් පසු ප්‍රදේශවාසීන්ගේ උදවුවෙන් ඉතා ගැඹුරු ස්ථානයක තිබී එකට බදාගෙන සිටි සොයුරියන් ගොඩ ගෙන ඇත.


දිය මංකඩ අසල තැන තැන ඔවුන්ගේ රෙදි හා පාවහන් විසිරී තිබූ අතර එම ස්ථානයේ බැඳ සිටි මී එළදෙනකුට බියෙන් මොවුන් දියට පනින්නට ඇති බවට පොලිසිය සැක කරයි.
මේ මී එළදෙන එම ස්ථානයට යනෙන පිරිසට අනින්නට උත්සාහ කරන අයුරු දැක තිබේ.
ඊයේ පෙරවරුවේ මතුගම වැඩ බලන මහෙස්ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා එම ස්ථානයට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන විටද මෙම මී දෙන රුදුරු ලෙස පහරදීමට උත්සාහ දරා ඇත.

මියගිය නිවුන් තරුණියන්ගෙන් වැඩිමහල් සොයුරිය චලුනි නිත්‍යා කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරිකව ඉගෙනුම ලබන අතර පියුමි නිත්‍යා එම විශ්වවිද්‍යාලයේම බාහිර අපේක්ෂිකාවක් ලෙස උපාධිය හදාරමින් සිට ඇත.
මතුගම ශාන්ත මේරි මහා විද්‍යාලයේ ආදී සිසුවියන් වන මොවුන් පෝහෝ දින නිවාඩුවට නිවෙසට පැමිණි විට මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බව ඔවුන්ගේ පියා ගල්පාතගේ මහින්දානන්ද පෙරේරා මහතා පැවැසීය.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දුන් පියා මෙසේ පැවැසීය.
මියගිය දරුවන් නේවාසිකව ඉගෙනුම ලබනවා ඔවුන් පෝය දවසෙ ගෙදර ආවේ. වෙනදටත් ඔවුන් දෙදෙනා එකට මේ ස්ථානයේ නාන්න යන්නේ. ඊයේත් සවස නාන්න ගිහින් රෑ වෙන තුරු ඇවිත් නෑ පසුව බිරිය 119ට දැනුම් දීල තිබෙනවා.
රාත්‍රියේ මා රැකියාවට ගොස් පැමිණි විට ප්‍රදේශවාසීන් එක්ව සිරුරු සොයාගත්තා.
මියගිය තරුණියන්ගේ මව වන පුෂ්පා රම්‍යා කුමුදුනී මහත්මියද සාක්ෂි දුන්නාය.
මළ සිරුරු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත යවා ඇත. සිද්ධිය පිළිබඳ මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර පද්මලාල් - අපරාධ අංශ ස්ථානාධිපති පො.ප. රවීන්ද්‍ර, පො.සැ. චන්ද්‍රසිරි (21568) යන මහත්වරු ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
අගලවත්තේ නිවුන් සහෝදරියන්ගේ මරණ වලට හේතුව මී එලදෙනෙක් අගලවත්තේ නිවුන් සහෝදරියන්ගේ මරණ වලට හේතුව මී එලදෙනෙක් Reviewed by Unknown on 4:12 PM Rating: 5
Powered by Blogger.