මැණික් ගඟේ කිඹුලා තරුණයෙක් මරා දමයි

කතරගම මැණික් ගඟේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (02දා) උදේ කිඹුලකු ඩැහැගෙන යනු ලැබීමෙන් අනතුරුව මියගොස් තිබේ. අවට රැස්ව සිටි අය එක්ව කිඹුලාගෙන් තරුණයා බේරා ගන්නා විටත් ඔහු මියගොස් සිට ඇත. මේ හේතුවෙන් කතරගම දේවාලයේ ඊයේ උදේ පූජාවද පවත්වා නැත. කිඹුලාට ගොදුරු වූ තරුණයාගේ මළ සිරුර ඊයේ (2දා) දින පැය තුනක සෝදිසි මෙහෙයුමකින් පසු කතරගම පොලිසියේ හා ප්‍රදේශයේ තරුණයන් විසින් සොයා ගන්නා ලදී.



අවුරුදු 20ක් පමණ වයසින් යුතු මේ තරුණයා හින්දු භක්තිකයකු බව අනාවරණය වෙයි. ඔහු හිස බූ ගා තිබීමෙන් බාරයක් ඔප්පු කිරීමට පැමිණි අයකු ලෙස විශ්වාස කෙරේ.
කතරගම පොලිස් ස්ථානාධිපති ජයසම්පත් එදිරිසිංහ මහතා වෙත ලැබුණු දුරකතන දැනුම් දීමක් අනුව එම ස්ථානයට පැමිණෙද්දී තරුණයාගේ මළ සිරුර කිඹුලා ඇදගෙන යන අවස්ථාව ස්ථානාධිපතිවරයා ද දැක තිබේ. කතරගම දේවාලයේ දිය කැපුම් වැල්ල ආසන්නයේදී තරුණයා කිඹුලාට ගොදුරු වූ අවස්ථාව ගඟේ දිය නාමින් සිටි කීප දෙනකු දැක තිබේ. පොලිසිය පැමිණෙන විටත් කිඹුලා තරුණයා විටින් විට උඩට දමමින් සිට ඇති අතර පසුව කතරගම ප්‍රදේශයේ සිටින
දක්ෂම කිමිදුම්කරුවකු වන ගුණපාල මහතා පැමිණ පැයක් පමණ දියේ කිමිදී කිඹුලා අල්ලාගෙන සිටි තරුණයාගේ මළ සිරුර බේරා ගැනීමට සමත්වි ඇත .

කතරගම ඇසළ පෙරහර අවසන් වූ දින රාත්‍රියේදී එක් කාන්තාවක් හදිසියේ හෘදයාබාධයකින් මියගිය අතර මේ පෙරහරින් පසු සිදුවූ දෙවැනි හදිසි මරණය මෙයයි.
මේ සිදුවීම නිසා ඊයේ (2දා) උදෑසන කතරගම මහා දේවාලය පැය කීපයක් වසා තිබිණි. සිරුර මැණික් ගඟෙන් ගොඩ ගැනීමෙන් පසු දේවාලය සඳුන් කිරි පැන් ඉස යළි විවෘත කෙරිණි.
මෙවර මැණික් ගඟේ ජලය වැඩිවීම නිසා වෙනත් වසරවලදී දිය කැපූ ස්ථානයද වෙනස් කර දිය කැපීම සිදු කරනු ලැබුවේ දේවාලයට අයත් පැන් ගන්නා තොටුපොළ අසලයි. මේ තරුණයාද කිඹුලාට ගොදුරු වී ඇත්තේ මේ ස්ථානයේදී බව පොලිසිය සඳහන් කරයි.
මැණික් ගඟේ කිඹුලා තරුණයෙක් මරා දමයි මැණික් ගඟේ කිඹුලා තරුණයෙක් මරා දමයි Reviewed by Unknown on 4:35 PM Rating: 5
Powered by Blogger.