ජාතික ලැයිස්තුවෙන් එජාපය උතුම් ආදර්ශයක් රටට දුන්නා

මෙවර ජාතික ලැයිස්තු පත්කිරීම්වලදී එක්සත් ජාතික පක්ෂය විසින් උතුම් වූ ආදර්ශයක් රටටම ලබාදීමට සමත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර සඳහා පත්කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත්, එසේ වුවද එජාපය එය ආදර්ශයෙන් පෙන්වාදීමට සමත්ව ඇති බවත්, සඳහන් කරමින් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කරයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු පත්කිරීම්වල දී  උතුම් වූ ආදර්ශයක් රටටම ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. සෑම මැතිවරණයකදී ම දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගන්නා මන්ත්‍රී සංඛ්‍යාවට අමතරව ඒ ඒ දේශපාලන පක්ෂය විසින් මැතිවරණයට පෙර සෙසු නාම යෝජනා ලැයිස්තු සමග ජාතික ලැයිස්තුවක් ද ඉදිරිපත් කරනු ලැබේ. මැතිවරණය අවසානයේ සමස්ත දිවයින තුළින්ම ඒ ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයේ අනුපාතයට තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය කරනු ලැබේ. ඉන් පසු තම ජාතික ලැයිස්තුවෙන් එම ප්‍රමාණය තෝරා මැතිවරණ කොමසාරිස්වරයාට යැවීම සාමන්‍ය සම්ප්‍රදාය වේ.

පසුගිය වසරවල අත්දැකීම් අනුව මැතිවරණයෙන් පරාජිත වූවන් තම ජාතික ලැයිස්තුව හරහා යළිත් පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබුණි. පසුව එය බොහෝ දෙනාගේ විවේචනයට ද බඳුන් විය. එබැවින් මෙවර වඩාත් කතාබහට ලක්වූ යහපාලන ක්‍රමවේදය අකුරටම රැකගනිමින් එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තුව නම් කිරීමට සමත්ව ඇත.

තවද ජාතික ලැයිස්තුවට ඇතුළත් වන සියලු දෙනාටම එම වරම හිමි නොවන බැවින් මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට නම් කරන කණ්ඩායම තෝරා ගැනීම ද බෙහෝ පක්ෂවලට පහසු කාර්යයක් නොවේ.මෙවර එක්සත් ජාතික පක්ෂය වටා ගොනු වූ ප්‍රබල චරිත රාශියක්ම දැඩි කැපවීමකින් යුක්තව පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ වෙහෙස වී කටයුතු කළ අතර ඒ අතුරින් පිරිසක් ජාතික ලැයිස්තුවට ද ඇතුළත් කර තිබුණි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු, ඉන් දහතුන් දෙනෙකු තෝරා ගැනීම සැබවින්ම අභියෝගයක් වන තරමට ඔවුන් සියලු දෙනාම තරඟකාරී වටිනාකමකින් යුක්ත අය වූහ. එහෙත් නීතියට අනුව නම් කළ යුත්තේ දහතුන් දෙනෙකු පමණක් වූ බැවින් කිසිවකු අතර ගැටළුවක් පැන නොනඟින පරිදි  එකී දහතුන තෝරාගැනීම සඳහා සැවොම එක්ව කරන ලද කැපවීම ඉතා විශිෂ්ටය.
ඒ අතුරින් අප පක්ෂයේ ඉදිරිපෙළ ප්‍රබල ක්‍රියාකාරී චරිතයක් වන ක්‍රිෂාන්ත කුරේ මහතා තමා ඊට නම් නොකරන ලෙස කල් ඇතිවම දන්වමින් ස්වේච්ඡාවෙන්ම ඉන් ඉවත්වීම විශේෂයෙන් අගය කළ යුතුය. එය ඔහුගේම වචනවලින් පවසන්නේ නම් තමන්ට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප වී ක්‍රියා කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජනය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ නැත.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු පත්කිරීම්වලදී ද එක්සත් ජාතික පක්ෂය විසින් උතුම් වූ ආදර්ශයක් රටටම ලබාදීමට සමත්ව ඇති බව පැහැදිලිය.
ජාතික ලැයිස්තුවෙන් එජාපය උතුම් ආදර්ශයක් රටට දුන්නා ජාතික ලැයිස්තුවෙන් එජාපය උතුම් ආදර්ශයක් රටට දුන්නා Reviewed by Unknown on 10:22 PM Rating: 5
Powered by Blogger.