‘කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ‘

කොටි සංවිධානයේ වත්මන් නායක සහ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරු කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරික්ෂණවලදී ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් අනාවරණය වී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කේ.පී අත් අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේදී සලකා බැලූ අතර එහිදී මෙම කරුණු සඳහන් විය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම, නීති විරෝධී අවි ජාවාරම් ආදී චෝදනා 193ක් දක්වා ඇතත් මේ කිසිදු සිද්ධියක් පිළිබඳව නිසි කරුණු මෙතෙක් අනාවරණය වී නැතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නාවාන මහතා අධිකරණයට දැන්වීය.
එබැවින් මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නිසි තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදිමට කල් ලබා දෙන ලෙසද නාවාන මහතා ඉල්ලීය. පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 28 දිනට කල් තැබිණි.
මේ අතර කේ.පීට රටින් පිටව යාම වළකමින් ආගමන පාලකවරයා වෙත නිකුත් කළ අතුරු නියෝගය ඔක්තෝබර් 29 තෙක් දීර්ඝ කිරීමටද අධිකරණය නියෝග කළේය.

‘කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ‘ ‘කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ‘ Reviewed by Unknown on 8:59 AM Rating: 5
Powered by Blogger.